☸ පිං වාක්‍යය ☸

තුන්ලෝවාසීන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවන් විඳීමට යෝග්‍ය වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා, ප්‍රථම කොට සුවිශුද්ධ බුද්ධ පූජාවන් පවත්වා, තදනන්තරව ආර්ය මහා සංඝරත්නය උදෙසා දන් පිරිනැමීමෙන් ජනිත වූ සකල කුසල විපුල පුණ්‍ය සම්භාර ධර්මයෝ සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් අනුමෝදන් වනු ලබත්වා!
තවද තමන් නමින් කාලක්‍රියා කළා වූ මව්පිය ඥාති සමූහයා විසින් මේ පින් අනුමෝදන්ව සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපතට පැමිණෙත්වා!
තවද මේ පින්කමේ නියුක්ත දායක කාරකාදීන්ටත් මේ පින් හේතු වාසනා වේවා!
ඒ මේ සෑම සියලු දෙනාටත් මේ කුසල ධර්මයන් අයිති වීමෙන්, නිතර දුක් පැතිර පවත්නා වූ සතර අපායෝත්පත්ති දුක්ඛයකට නොපැමිණ, සැපයෙන් උතුම් වූ පැවතුම් ඇති චාතුම්මහාරාජික ආදී සදිව්‍ය ලෝකයන්හි සදිව්‍ය ශ්‍රී සම්පත් අනුභව කොට, නැවත මිනිස් ලොව උපදනා කාලයක් ඇත්තේ වී නම් ආයු ශ්‍රී සම්පත් ලැබීමෙන් ද, රූප ශ්‍රී සම්පත් ලැබීමෙන් ද, ගාම්භීර ප්‍රඥා සම්පත් ලැබීමෙන් ද, ධන සේනා සම්පත් ලැබීමෙන් ද, ලද සම්පත් සිත් සේ ප්‍රයෝජනයට විඳිමින් වාසය කරන කල්හි;
සුරපති භාග්‍ය කේතුමතීය නම් උත්තම රාජධානියේ ඉපදී වදාරන්නා වූ, අනන්ත ශ්‍රී ඇති කල්‍යාණ මිත්‍ර මෛත්‍රීය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක, උන්වහන්සේ ඇතුළු ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලාට චීවරාදී සිව්පස දානයෙන් උපස්ථාන කොට, එම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්නා වූ, 'දුක්ඛං දුක්ඛසමුප්පාදං - දුක්ඛස්ස ච අතික්කමං අරියඤ්චට්ඨංගිකං මග්ගං - දුක්ඛූපසමගාමිනං' යනාදී දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන් අසා, එම දේශනාවගේ කෙළවර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මග සතර ඵලයන් ප්‍රත්‍යක්ෂ කොටගෙන, නිත්‍ය මංගල, පරම සුන්දර වූ, අති ශාන්ත වූ, සුඛ ප්‍රණීත ප්‍රවරතර අමා මහා නිර්වාණ සම්පත් ලැබේවා යි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් සාධු නදින් පින් අනුමෝදන් විය යුත්තේය!